X-Files I Want to Believe

ලොව පුරා අතිශය ප්‍රේක්ෂක ජනප්‍රසාදයට හසුවූ හා ජනප්‍රියත්වයට පත්වූ X-Files රූපවාහිනී ක්‍රියාදාම හා ත්‍රාසජනක කතා මාලාව ඇසුරින් නිර්මාණය වන X-File දෙවැනි චිත්‍රපටිය වශයෙන් X-Files, I Want to Believe චිත්‍රපටිය 2008 ජුලි මස 25වන දින ඇමරිකාය ඇතුලු ලොව පුරා සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය ආරම්භ කරන ලද අතර, චිත්‍රපටිය ලංකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කරන ලද්දේ 2008 අගෝස්තු 21වන දින සිටයි. X-Files රූපවාහිනී කතා මාලාව හරහා රසික ජනප්‍රසාදයට පත්වූ රංගන ශිල්පියකු වන ඩේවිඩ් ඩච්වෝනි මෙම චිත්‍රපටියේදීද ෆොක්ස් මෝල්ඩර් චරිතයට පන පොවන අතර, මෝල්ඩර්ගේ ආදරණීය සහායිකාව වන ඩානා ස්කලී චරිතය වෙනුවෙන් රඟදක්වන්නේ X-Files රූපවාහිනී කතා මාලාවේදීද එම චරිතය වෙනුවෙන් රඟදැක්වූ ගිලියන් ඇන්ඩර්සන් විසිනුයි. මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරනු ලබන්නේද, රූපවාහිනී කතා මාලාවේ අධ්‍යක්ෂක වරයා වන ක්‍රිස් කාර්ටර් විසින් වන අතර, චිත්‍රපටිය නිෂ්පාදනය කරනු ලබන්නේ ක්‍රිස් කාර්ටර් සමඟින් ෆ්‍රෑන්ක් ස්පොට්නිට්ස් විසිනුයි. මිනිත්තු 104ක් පුරාවට දිවෙන මෙම ආකර්ශණීය ත්‍රාසජනක චිත්‍රපටිය 20th Century Fox විසින් බෙදාහරිනු ලබන අතර, චිත්‍රපටියට යොදවා ඇති මුලු වියදම ඇමරිකානු ඩොලර් කෝටි 30ක් වනවා.
චිත්‍රපටියේ රංගන දායකත්වය මෙසේයි,
- ඩේවිඩ් ඩච්වෝනි - ෆොක්ස් මෝල්ඩර්
- ගිලියන් ඇන්ඩර්සන් - ඩානා ස්කලී
- අමන්දා පීට්
- බිලී කොනොලි
- මිච් පිලෙගි
- කීත් රෙනී
- ඇඩම් ගොඩ්ලේ
- ක්ෂාන්තා රැඩ්ලි
- සාරා ජේන් රෙඩ්මන්ඩ්
- ක්‍රිස්ටෝපර් වුඩ්කොක්
- නිකි අයිකොක්ස්
මෙම චිත්‍රපටිය රූගත කිරීම් ඇරඹුනේ 2007 දෙසැම්බර් මාසයේ කැනඩාවේදී වන අතර චිත්‍රපටියේ රූගත කිරීම් නිමාවට පත්වූයේ 2008 මාර්තු මස 11වෙනි දිනයි. චිත්‍රපටියේ රූගතකිරීම් වල රහස්‍ය භාවය රැකීම සඳහා මෙම චිත්‍රපටිය රූගත කෙරුනේ “Done One” යන කේත නාමයෙනි. මෙම චිත්‍රපටිය දැන් කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කෙරේ.
සුපුන් සුදාරක, YuthMAX වෙබ් අඩවියේ වින්දන විශේෂාංගය වෙනුවෙනි.

